කතිර මැහුම් කලාව




                පාරම්පරික විසිතුරු මැහුම් ක්‍රම අතුරින් බෙහෙවින් ජනප්‍රිය, සුන්දර, පහසු මැහුම් ක්‍රමයක් වන කතිර මැස්ම ගැනය.

                ලෝකයේ විවිධ රටවල කාන්තාවන් ඈත අතීතයේ සිටම, තමන්ගේ නිවසේ ඇඳන් ආවරණ, කොට්ට උර, මේස රෙදි, කුෂන් කවර වැනි දේවල් අලංකාර කිරීමට කතිර මැස්ම යොදාගෙන තිබේ. ඇඳුම් පැළඳුම් වන සාය, ගවුම්, හැට්ටය, තොප්පි ආදියත් කතිර මැහුම් යොදා ලස්සන කරගෙන ඇත.

                ඈත කාලයේ ජ්‍යාමිතික හැඩතල අනුව මල්, කුරුල්ලන්, ගස්, ගෙවල් ආදිය මෝස්‌තර සකස් කරගෙන තිබුනු අතර රතු, නිල්, කහ, කොළ වැනි තද වර්ණ වලින් කතිර මෝස්‌තර ලෙස නිම කරගෙන තිබුණු බව අසන්නට ලැබේ.

                මුලින්ම චීන කාන්තාවන් කතිරය සියුම් ලෙස යොදා ගනිමින්, විචිත්‍ර මෝස්‌තර නිපදවන්නට පටන් ගෙන ඇත.විශේෂයෙන්ම වාටි මැසීමට කතිර මැස්ම යොදාගෙන ඇත්තේ චීනයේය.

                18 වැනි ශත වර්ෂයේ එංගලන්ත කාන්තාව පුටු කුෂන් කිරීමේදී, කතිර මැස්මෙන් අලංකාර මෝස්‌තර නිමකරන්නට පටන් ගත් බව කියවේ. වික්ටෝරියා සමයේ, පුංචි දර්ශන වලින් පටන්ගෙන, විශාල දර්ශනවලින් නිම කරන්නටත්, ගස්,මල්, ගෙවල් සත්තු, මිනිස් රූප ආදී විවිධ මෝස්‌තර නිපදවන්නටත් පටන් ගෙන ඇත. දර්ශනීය අන්දමින් ඉංග්‍රීසි හෝඩියේ අකුරු මැහීමද විශේෂ තැනක් ගෙන තිබේ.

                තෑගි දීම සඳහා පුංචි ඉඳිකටු කොට්ට, ආභරණ තබන පෙට්ටි, බෑග්, නත්තල් සුබ පැතුම්, නත්තල් ගසට එල්ලන සැරසිලි, ආදී බොහෝ දේවල් මෙන්ම විශාල දර්ශන නිමකිරීමට ද අද කාන්තාවන් මහත් රුචියක් දක්වති.

                අද ලොව පුරා පැතිර ඇති කතිර මැස්ම යොදා මහන නිර්මාණ සඳහා වර්ණ කරන ලද මෝස්‌තර නූල් වර්ග, උපකරණ, අවශ්‍ය රෙදි වර්ග විවිධ රටවල විශාල වශයෙන් දක්නට ඇත. අප රටේ ද  අද මෝස්‌තර කට්ටල විකිණිමට ඇත. පිටරටවල තරම්, අවශ්‍ය ද්‍රව්‍ය ලබා ගැනීමේ පහසුකම් නැතත්, අපේ රටේ කාන්තාවන්ක අතර තිර මෝස්‌තර මැසීම ඉතා ජනප්‍රිය කලාවක් බවට පත් වී ඇත.

                බොහෝ කෞතුකාගාරවල කතිර මැස්මෙන් කල නිර්මාණ දැකගන්නට තිබේ. විශේෂයෙන් යුරෝපයේ සහ ආසියාවේ කෞතුකාගාරයන්හී දක්නට ලැබේ.

                සියල්ලටම පෙරකතිර මැස්ම සඳහා අවශ්‍ය කරන අමුද්‍රව්‍ය පිලිබඳ අවධානය යොමු කරමු.






කතිර මැස්මට සුදුසු රෙදිවර්ග

අයිඩා රෙදි

ලිනන්


ජාවා


                කතිර රටා එම්බ්‍රොයිඩර් කලාවට කොටු ගණන් කළ හැකි ඕනම රෙදි වර්ගයක් භාවිතා කළ හැකිය.ඒත්, අපි වැඩි වශයෙන්ම භාවිතා කරනුයේ අයිඩා රෙදි වේ.ඊට අමතරව ලිනන්, හාඩන්ගාර්, ජාවා වැනි නූල් ගණන් කරන්නට හැකි, රෙදි වර්ගද කතිර මැහුම් වලට වඩා සුදුසුය.

                රෙදි තෝරා ගැනීමේදී රෙද්දේ වියමන, දිග නූල් සහ හරස් නූල් එකම ප්‍රමාණ නූලක් වීම වැදගත්ය. රෙද්දක අඟලක හරි හතරැස් කොටුවක ඇති, දිග නූල් සහ හරස් නූල් ගණන් කලවිට එකම ප්‍රමාණයට තිබේ නම් එය කතිර මැසීමට සුදුසුය.සමාන නූල් ඇති රෙද්දක්, ග්‍රාප් කඩදාසියේ ඇති මෝස්තරයක් ක්‍රමානුකුලව මසා ගැනීමට බෙහෙවින් ප්‍රයෝජනවත් වනවා ඇත.

හාඩන්ගර්

                රෙද්දේ වියමන, සමානව නැත්නම් ග්‍රාප් කඩදාසියේ මෝස්තරයට සුදුසු නැත. සමාන වියමන ඇති රෙද්දක් වුවත් නූල් ගණන් කීරීම අපහසුව ඇතොත් නූල් හැර රෙද්දක් සකස් කර ගන්නට පුළුවන.

                නූල්හැර සකස්කර ගන්නට බැරි රෙද්දක මෝස්තරයක් මහන්නට අවශ්‍ය වූ විටෙක කැන්වස් රෙද්දක් අවශ්‍ය රෙද්ද මත තබා වටේට නූල් දුවවා මෝස්තරය ඒ මත මහන්න. පසුව ප්‍රවේශමෙන් කැන්වස් රෙද්දේ නූල් ඉවත් කරන්න. පුරුදු වෙන කෙනෙකුට කොටු රෙද්දක කතිරය මසා පුරුදු වීමට පුළුවන.

                අයිඩා රෙදි නම්, අඟලට කොටු 8, 10, 11, 14, 16, 18 හා 20 ආදී වශයෙන් කොටු ප්‍රමාණ අනුව ඇත.එහෙත්, අපි කතිර රටා සඳහා භාවිතයට ගන්නේ,අඟලට කොටු 11 සහ 14 ඇති අයිඩා රෙදිය.

                මෙම අයිඩා රෙදි විවිධ වර්ණවලින් ඇත.එනම් සුදු, කළු, ඇත් දළ පැහැ, දම්, ලා නිල් ආදී ලෙසයි.
               අඟලට කොටු 11 ලෙස අප හඳුන්වන්නේ රෙදි කොටසේ අඟලක් ගත්විට එනම්,අඟලක දිගක් ලකුණු කළවිට එහි කොටු 11ක් තිබීමයි.එය වියමනක් ලෙස ඇති අතර ඔබට ගණන් කළ හැක.
               අඟලට කොටු 14ක් යනු රෙදි කොටසේ අඟලක දිගක් ලකුණු කලවිට එහි අපිට ගණන් කළ හැකි ලෙස කොටු 14ක් තිබීමයි.


  • ඔබ මතක තබා ගත යුතු වැදගත්ම දෙයක් වන්නේ, අපි කතිර රටා මැසීමට භාවිතා කරන ජනප්‍රියම රෙදි වර්ගය වන්නේ අඟලට කොටු 14ක් ඇති අයිඩා රෙද්ද බවයි.



  • එහෙත්, අපේ රටේ වැඩිපුරම ඇත්තේ අඟලට කොටු 11ක් සහිත අයිඩා රෙදිය.



  • අයිඩා රෙද්දේ එක් අඟලකට කුඩා කොටු 10 සිට 12 දක්වා ඇත්නම් නූල් තුන් පොටක් සහ හතර පොටක් දමා මසන්න.අඟලට කොටු 08ක් නම් නූල් 06 පොටක් දමා මසන්න.


කතිර මැස්මට අවශ්‍ය නූල් වර්ග

DMC නූල්


                කතිර මෝස්තරයක් මහන්නට සායම් නොයන හොඳ පාට නූල් වර්ගයක් තෝරා ගත යුතුය. නූල් වර්ග විකුණන සාප්පුවකට ගියවිට කැරලි නූල්, නූල් බෝල, නූල් රෝද විවිධ වර්ග වලින් ඔබට තෝරා ගන්නට පුළුවන.

                කතිර රටාවන්ට සුන්දර වූත්, අලංකාර වූත් පෙනුමක් ගෙන දෙන්නේ කපු කැරලි නූල් ය.එහිදී පොටවල් 06ක් එක කැරැල්ලකට සිටින සේ  සකස් කර ඇති කපු නූල් කැරලි තෝරාගන්න.එම නූල් කැරලි වල ඇති පොටවල් හයෙන් අවශ්‍ය ප්‍රමාණයට එක නුලක්, දෙකක්, තුනක් වශයෙන් වෙන්කර ගෙන මෝස්‌තර මහන්න පුළුවන. මෙම නූල් කැරැල්ලක සාමාන්‍යයෙන් මීටර් අටක් දිගට නූල් තිබේ.


  • අඟලට කොටු 24ක් ඇති අයිඩා රෙද්දේ මසන්නේ නම් පොටවල් 02 බැගින් වෙන් කරගෙන ඉන්දිකටුවට නූල් අමුණා මසගත යුතුය.
               
                පර්ල් කොට්න් නම් තවත් තරමක් මහත නූල් වර්ගයක්ද ඇත. වැඩි වශයෙන්ම බෝල වශයෙන් ඇති මේ නූල් සමහර ගොරෝසු රෙදි වර්ගවලට සුදුසුය. රන්පැහැ, රිදීපැහැ මෙටලික් නූල් වර්ගද කතිර මැස්ම වර්ණවත් කරගැනීමට අවශ්‍ය වේ. දිලිසෙන පෙනුමක් ලබාදීමට මෙටලික් නූල් වලින් මැහිය යුතුය. ගෝනි රෙදිවල මහනවා නම් විශේෂ වූල් වර්ගයක් වෙළඳපොළේ ගන්ට ඇත. සාමාන්‍ය වූල් වලින්ද  ගෝනි රෙදිවල මෝස්‌තර මැසීමට පුළුවන.
   

  • මෝස්තරයක් මහන විට රෙද්දේ ස්වභාවයට අනුව නූල් පොටවල් ගණන අරගන්න. උවමනාවට වඩා නූල් පොටවල්  අරගෙන මැසීමට යාමෙන් රෙද්දේ සිදුරු පළල වී උවමනාවට වඩා කතිරය මතු වී සුන්දරත්වය අඩු වේ.

  • අඟලකට කතිර 10-11 මහනවිට නූල් පටවල් තුනක් ගන්න. ආපසු මැස්මට පටවල් දෙකක් ගන්න.

  • අඟලකට කතිර 12-17 මහන විට නූල් පටවල් දෙකක් ගන්න. ආපසු මැස්මට එක පටක් ගන්න.

  •  ලොකු මෝස්තරයක් මහන්න පටන් විට ගන්න විට සාම්පලයක්ව මසා සාර්ථක නිමාවක් ලැබේද බලා නූල් පොටවල් ගණන තීරණය කරන්න.

  • කතිර මෝස්‌තර මසන විට වර්ණ ගලපා ගැනීමට සිදුවේ. විදේශීය සඟරාවල, පොත්වල පලවෙන මෝස්තරවල  නියමිත වර්ණවලට අදාල නූල් තෝරා ගැනීමට නූල් අංක වලට අනුව විශාල නූල් අලෙවිකරන සාප්පුවලට ගිය විට එම නූල් තෝරා ගැනීමේ අපහසුවක්ද නැත. නමුත් තවමත් අප රටේ ගම්බදව වෙසෙන එක්නෙකුට විදේශීය ක්‍රමයට නූල් තෝරා ගැනීමේ පහසුවක් නැත. අපි අප අවට ඇති සම්පත් වලට අනුව වර්ණ තෝරාගෙන අපේ නිර්මාණ කරන්නට පාටන් ගැනීම නුවණට හුරුය.


                වර්ණ ගැලපීම පිලිබඳ නීතියක් රීතියක් නැත. බොහෝවිට පෞද්ගලික මතය අනුව වර්ණ යොදන්නට පුළුවන. එසේ වුවත් තමන් නිර්මාණයක් කරන්නේ ඇඳුමකටද, බෑගයකටද, බිත්ති සරසිල්ලකටද, නිදන කාමරයටද යන අවශ්‍යතාවය උඩ තමන්ගේ විශේෂ කැමැත්ත අනුව තැනට සුදුසු වර්ණ තෝරා ගන්නට සිතට ගත යුතුය.

                හැම දෙනා තුලම වර්ණ ගැලපීම ගැන පුළුල් අවබෝධයක් නැතත් ස්වභාව ධර්මය දෙසබලා පාටක් යොදන්නට අවබෝධයක් ලබාගත් හැක. මලක් කොලයක් මහන්න අවශ්‍ය උනොත් එහි ඇති ස්වභාවිකවර්ණය හිතට ගෙන ගැලපෙන පාට යොදා මහන්නට අපහසුතාවක් නැත.

                ග්‍රාප් කඩදාසියක තමන්ට මෝස්තරයක් නිර්මාණය කරගන්නේ නම් එම නිර්මාණය සුදුසු පරිදි පාට කරගන්න. එවිට පාට නූල් යොදා මහගන්නට පහසුවේ.

                පොත්වල ඇති මෝස්‌තර බොහෝවිට වර්ණ ගන්වා තිබේ. ඒවායේ ඇති පාටම තෝරා ගන්නට බැරිව ගියොත් සමාන වර්ණ යොදාගත්තට වරදක් නැත.

                මහන්න පටන් ගන්නට පෙර අවශ්‍ය නූල් මිලට ගන්න. දිග නූල් වලින් මහන්න අපහසු නිසා සෙ.මි.38 ක පමණ කෑලිවලට කපා ගන්න. ඝනකම කාඩ් එකක හිල් පේලියක් සදා නූල් ඒ හිල් වල රඳවා තබා ගන්න. එවිට නූල් ගැනීමට පහසුය.



කතිර මැස්මට සුදුසු ඉඳිකටු

BODKIN NEEDLE


               කතිර මැහුම් මහන්නට සුදුසු රෙද්දේ පහසුවෙන් මහන්නට හැකි මොට තුඩක් සහ ලොකු නූල් අමුණන්න සිදුරක් ඇති ටැපැස්ට්‍රි නම් විශේෂ ඉඳිකටුවක් තිබේ. රෙද්දේ නූල් වලට හානියක් නොවන්නටමෙම ඉඳිකටුව නූල් අතරින් යවන්නට පුළුවන. පුංචි ඉඳිකටුවට ඇත්තේ 26 ට වැඩි නොම්මරයකි. මහත ඉන්දිකටුවට ඇත්තේ 18 ට අඩු නොම්මරයකි. මෙවැනි ඉඳිකටු කීපයක්ම මිලයට ගන්න.


  • bodkin - බොඩ්කින් ඉඳිකටුව මොටය ලොකු සිදුරු ඇත.
  • beading - සිහින් දිග ඉඳිකටුව පබළු ඇමිණිමට සුදුසුය.
  • crewel - තියුණු ලොකු සිදුරු ඇතිමෝස්තර මැහීමට සුදුසු ඉඳිකටුවයි.
  • tapestry - ටැපස්ට්‍රි මොටය ලොකු සිදුරු ඇත. කතිර මහුමට සුදුසුය.
  • sharp - ෂාප් තියුණු තුඩ ඇති රවුම් සිදුරු තිබේ.
  • chenille - ලොකුසිදුරුඇතිමොට ඉඳිකටුව කචුචිස් වලට සුදුසුය.
BEADING NEEDLE



රාමුව

රාමුව

                රාමුවක දමා මහන්නට පුරුදුවිම හොඳය. එවිට රෙද්දේ ඒකාකාරී ඇදීමක් නැතුව මහගන්නට පුළුවන.රාමුවේ හරි මැදට මෝස්තරය තැබිය හැකිනම් පමණි. එය සුදුසු වන්නේ. මෝස්තරය විශාල කොටස් යොදා මැහීම සුදුසු නැත. විශාල මෝස්‌තර වලට ඒ වෙනුවෙන් සකස් කළ ලොකු රාමුවක් ගත යුතුය.



කතුරු

කතුරු


                කතුරු දෙකක් තබාගත යුතුය.ලොකු කතුර රෙදි කැපීම සඳහා වන අතර පොඩි කතුර නූල් කැපීමටය.



දළ සටහනක්


                කතිර රටාවක් මසා ගැනීමට නම් මසාගන්නා මෝස්තරයට අදාලව දළ සටහනක් ඔබ සතු විය යුතුය.
                මෙහිදී කවුරුන් විසින් හෝ නිර්මාණය කරන ලද දළ සටහනක් ඔබට භාවිතා කළ හැකි අතර නැතිනම් ඔබට ඔබගේම දළ සටහනක් නිර්මාණය කරගත හැකිය.



දළ සටහනක් නිර්මාණය කරගන්නේ කොහොමද?

                ඒ සඳහා ඔබට කොටු සහිත කොටු රූල් පොතක කඩදාසියක් හෝ ප්‍රස්ථාර කොලයක් භාවිතා කළ හැකිය.එහි කොටු තුල කොටුවෙන් කොටුවට සම්බන්ධ වන ලෙස ඔබට කැමති මොස්තරයක් ඇඳගන්න.මෙහිදී වඩාත් සැලකිලිමත් විය යුත්තේ වර්ණ ගලපා ගැනීම කෙරෙහිය.එයට හේතුව වන්නේ,මෝස්තරය පුරා සමබර ලෙස වර්ණ විහිදීම අවශ්‍ය වන බැවිනි.



  • කතිර රටා මැසීමේදී මැස්ම තදින් ඇදීම නොකළ යුතුවාක් මෙන්ම බුරුල් ලෙස මැසීමද නොගැළපෙයි.



  • කතිර මැස්ම මසාගෙන යනවිට සුළු හෝ වරදක් වුවහොත් එය එසැණින් ගලවා වරද නිවැරදි කර නැවත මසන්න.ඔබ නොසිතුවද සුළු වරදකින් වුව සම්පුර්ණ මොස්තරයම ඇද විය හැක.



  • අවධානය යොමු කළ යුතු තවත් වැදගත් කරුණක් වන්නේ,නූල් රෙදි කොටසට සම්බන්ධ කර ගැනීම පිලිබඳවය.ඒ අපි කතිර මැස්ම මැසීමේදී කිසි විටෙකත් ගැට නොදමන බැවිනි.පළමුව මසන කතිර භාගය මසා එම නූල පිටුපසට ගෙන කොටු අතරින් යවා සකසාගන්න.


6 comments:

  1. Kathira mahum kalaawe aarambhaye indan wisthara karapu 1 godak honday...
    Eaka knowledge 1 ta Honday...

    ReplyDelete
  2. ආපසු මැස්ම මහන්නෙ කොහොමද ?

    ReplyDelete
  3. ඉතා වැදවැදගත් කරුණු , බොහොමත් අගය කරනවා, ස්තුති ඔබ්ඔ

    ReplyDelete

plz,give me your ideas..