පේපර් කුයිලින්ග් කලාව



                නිවෙසක් සොඳුරු නිවෙසක් වන්නේ  ගෘහනියගේ දෑතිනි. ඇයට තම නිවහන සුන්දරත්වයෙන් පුරවාලන්නට කළ හැකි දෑ අපමණය. ඒ  අතර ඉදිරියෙන්ම හිඳින අත්කම් කලාවක් ලෙස පේපර් කුයිලින් කලාව හැඳින්විය හැකිය. පේපර් කුයිලින් කලාව යනු නිවහන හැඩකරගන්නට පමණක් නොව උපන්දින සුබපැතුම්, වෙනත් සුබපැතුම් හා ආරාධනා පත් ද හැඩකළ හැකි අපූරු කලාවකි. මේ නිසාම මෙය ළඳකට ව්‍යාපාරයක් ලෙසින්අමතර අදායමක් උපයාගත හැකි මඟක් ද වේ.

ඒ සඳහා මුලින්ම අවශ්‍ය උපකරණ සහ අමුද්‍රව්‍ය හඳුනාගැනීම යෝග්‍ය වේ.




 


  • කුයිලින් ටූල් එක



                මෙය පෑනක් වැනි ටූල් එකකි. මෙහි අල්ලා ගැනීමට මිටක් හා එයට සම්බන්ධ ඉඳිකටුවක් වැනි කොටසක් ඇත. එහි පහළින් මැදින් පැලීමක් දක්නට හැකියි. එනිසාම එය slotted tool කියාද හඳුන්වයි.

                අප මෙය භාවිතා කරන්නේ කොයිල් සදාගැනිමට කඩදාසි තීරු ඔතා ගැනීම සඳහාය.
                දැන් අපි ටූල් එක වටා කඩදාසි තීරුවක් ඔතා ගන්නා ආකාරය බලමු.





  •  මුලින්ම ටූල් එක ගෙන තමන්ට හුරු අතින් අල්ලා ගන්න.
  • කඩදාසි තීරුව ගෙන එහි මුල් කොටස ටූල් එකේ පැලී තිබෙන කොටසට ඇතුළු කරන්න.නමුත්,එය එහි පැල්මෙන් එළියට පනින්න තියන්න එපා.එසේ එළියට පනින්න කොයිල් එක තැබුවොත් කොයිල් එක මැදින් නැවෙන අතර අපට අවශ්‍ය කරන නියමිත හැඩය සාදාගන්නට නොහැකි වේ.
  • හරියටම කඩදාසිය පැල්මෙන් එලියට යන්නට නොදී කඩදාසි තීරුව තබා අනෙක් අතේ මහපට ඇඟිල්ලේ හා දබර ඇඟිල්ලේ තුඩු උපයෝගී කරගෙන කොයිල් එකක ලෙස ඔතා ගන්න.

(කොලය උඩින් හා යටින් තරමක් තද කර අල්ලාගෙන ටූල් එකේ මිට කොටස කරකවමින් කොයිල් එක හොඳින් ඔතා ගත යුතුයි.)

                මේ කුයිලින් ටූල් එක භාවිතා කරන සරලම විදිහයි.නිර්මාණයට භාවිතා කරන කොයිල් සියල්ලම මුලිකවම සාදා ගන්නේ මෙසේය.


  • කොයිල්



                 කොයිල් යනු කඩදාසි තීරු කපා රෝල් කර නමා නිර්මාණයට අවශ්‍ය ලෙස සකසාගත් විවිධ හැඩ ගනනාවක්ම නිර්මාණ සඳහා යොදාගනී. පේපර් කුයිලින් කලාව පදනම් වන්නේ ද මෙම හැඩතල මතය.


  • නීඩ්ල් ටූල්


                මෙයඉඳිකටුවක් වැනිඋපකරණයකි. ඉදිරි පාඩම් වලදි මෙම ටූල් එක පිළිබඳ ඔබට ඉගෙනීමට හැකිවන අතර ස්ප්‍රිල් හැඩ සකසා ගැනීමට මෙම උපකරණය භාවිතා කරයි.


  • ක්‍රාෆ්ට් නයිෆ්




                පේපර් කුයිලින් නිර්මාණ කලාවට අවශ්‍ය කොළ කඩතොලු රහයිතව කපාගැනීම සඳහා අවශ්‍ය උපකරණයකි. මෙය පෑනක හැඩයකින් සමන්විතය. භාවිතා කරනවිට ඉතා කල්පනාකාරීව සහ සැලකිලිමත්ව භාවිතා  කළ යුතුයි. නැතහොත් පිහියේ තියුනු බව නිසා ඔබගේ ඇඟිලි තුඩු කැපී යාමට ඉඩ ඇති අතර කඩදාසි නිසි පරිදි නොකැපී ඒවා අපතේ යාමට ද පුළුවනි. මේ සඳහා විසඳුමක් ලෙස පේපර් කටර් එකක් භාවිත කළ හැකියි.


  • ෆැබ්රික් ග්ලු 




                නිර්මාණයට අවශ්‍ය පරිදි සකස්කරගත් කොයිල් අලවා ගැනීම සඳහා මෙම ගම් වර්ගය භාවිත කරයි. මෙම ඇසුරුමේ මුල් කොටසේ සිහින් දිගැටි උලක් වැනිපිහිටීම නිසා ක්‍රමානුකූලව ගම් ලබා ගත හැකියි. අලවා ගැනීමේදී ගම් තලි තලි තවරා ගන්නේ නැතුව ස්වල්පය බැගින් කොයිල් එක මත තබමින් ඉතා සීරුවට අලවා ගත යුතුයි. පළමුවරට ඔබ ෆැබ්රික් ග්ලු කුප්පියක් මිලදී ගන්න. එය අවසන් වූ විට එම කුප්පියටම බයින්ඩර් ගම් දමා භාවිත කරන්න පුළුවන්.


  • රූල



                නිර්මාණයට අවශ්‍ය දිග තීරු කපා ගැනීම සඳහා දිගරූලක් අවශ්‍ය වේ. ඇලුමිනියම්වලින් සෑදූ ඝනකම රූලක් නම් වඩාත් යෝග්‍ය වේ. මෙවැනි රූලක් තෝරා ගැනීමේදී සැලකිලිමත් විය යුතු මූලික දෙයක් ඇත. එනම් එහි වෙන්කරඇති අගයන් පැහැදිලිව දැකගත හැකි වීමයි. අප නිර්මාණයට අවශ්‍ය කඩදාසි තීරු කපාගන්නේ මෙම අගයන් ආධාර කරගෙනයි.


  • කටිං මැට් එක



                මෙය තරමක් ශක්තිමත් තුනී ලී වලින් සෑදූ බෝඩ් එකකි. මෙය කඩදාසි තීරු කපා ගැනීමටත් නිර්මාණයේ කොයිල් තබා අලවා ගැනීමටත් උපකාර වේ. ඔබට මෙම ලීබෝඩ් එක වෙනුවට වීදුරු බෝඩ් එකක් වුවද භාවිත කළ හැකියි. නමුත්
කටින් බෝඩ් එකක් භාවිත කිරීම ඔබට පහසුවක් මෙන්ම ආරක්ෂාවක් ද ගෙන දේවි. මෙම බෝඩ් A4  හා A3 ප්‍රමාණයෙන් ඇති අතර A3 ප්‍රමාණයෙන් මිල දී ගැනීම ඔබට පහසුවක් වේවි.


  • වර්ණ කඩදාසි 



                නිර්මාණයට අවශ්‍ය කරන මූලික අමුද්‍රව්‍ය ලෙස වර්ණ කඩදාසි හඳුන්වා දෙන්නට හැකියි.
                මෙම කඩදාසි ඔබට අවශ්‍ය වර්ණයන්ගෙන් ලබාගත හැකි අතර 80 GSM සිට GSM 110 දක්වා පරාසයන්ගෙන් තෝරා ගත හැකියි. කඩදාසි තෝරා ගැනීමේ දී  A4 ප්‍රමාණයෙන් තෝරාගැනීම කොළ කපාගැනීමේ දී වඩාත් පහසුයි.


  • බෝඩ්



                සාදා ගන්නා හැඩතල මගීන් නිර්මාණයන් කිරීමට නම් බෝඩ් කොටසක අලවා ගතයුතුයි. එහිදී ඔබ කරන නිර්මාණයේ ප්‍රමාණය අනුව බෝඩ් කොටසේ ප්‍රමාණය තීරණය වේ. 200  GSM, 250GSM හෝ 300 GSM අතර පරාසයක බෝඩ් කොටසක් නම් වඩාත් සුදුසුය. මෙම බෝඩ් ද විවිධ වර්ණයන්ගෙන් ඇති අතර නිර්මාණයට ගැළපෙන වර්ණයකින් තෝරා ගැනීමට සැලකිලිමත්වෙන්න.


  • අඟලට කොටු දහයේ ප්‍රස්ථාර කොළයක්


                විවිධ වර්ගයේ ප්‍රස්ථාර කොළ වෙළඳපොළේ ඇති අතර පේපර් කුයිලින්ග් නිර්මාණ සඳහා අපට අවශ්‍ය වෙන්නේ අඟලට කොටු 10 ක් ඇති ප්‍රස්ථාර කොළයකි. මන්ද අප කපාගත යුතු කඩදාසි තීරුවක සම්මත ප්‍රමාණය එයවන බැවිනි. එම තීරු කපාගැනීමට පහසු වීම සඳහා මෙම ප්‍රස්ථාර කොළ අප
උපයෝගී කරගන්නවා.


  • පේපර් ශෙඩර් මැෂින් එක


                මෙය කඩදාසි තීරු කපාගැනීමට භාවිතකරන ප්ලාස්ටික් වලින් සෑදූ උපකරණයකි. බොහෝ විට භාවිත කරන්නේ ඕනමන්ට් නිර්මාණ සඳහා කඩදාසි කපගනිමටය.සුබපැතුම් පත්, වෝල් හැන්ගර්ස් හා කුඩා ප්‍රමාණයේ නිර්මාණ සිදුකිරීමේදී මෙමගින් කපාගත් කඩදාසි තීරු භාවිතා නොකරයි.මන්ද එමගින් කපාගත් තීරුවල දෙපස කුඩා දැති දක්නට ලැබීමයි.එය කුඩා නිර්මාණවලට අසුන්දර බවක් එක් කරයි.


  • කුයිලින්ග් මෝල්ඩ්




                මෙය ප්ලාස්ටික් වලින් නිමවා ඇති විවිධ ප්‍රමාණයේ රවුම් වලින් යුත් උපකරණයකි.අප මෙය භාවිතා කරන්නේ කුයිලින්ග් ටූල් එකෙන් ඔතා ගන්නා ලද කොයිල් දිග නොහැරී තබා ගැනීම සඳහාය.එමෙන්ම එක ප්‍රමාණයෙන් කොයිල් සියල්ල සකසා ගැනීමටයි.



                                                                                       මෙවැනි උපකරණ භාවිතා කරමින් හා හැඩතල යොදා සිදු කරන නිර්මාණ,ඕනමන්ට්,ත්‍රීඩි වෝල් හැන්ගර්ස් ආදී ලෙස අපට කුයිලින්ග් වලින් කරන නිර්මාණ වර්ග රැසක්ම හඳුනා ගත හැකිය.






10 comments:

plz,give me your ideas..