Friday, February 9, 2018

පේපර් කුයිලින්ග් කලාව - 02 පාඩම

 
           


                විස්මිත පේපර් කුයිලින්ග් කලාවට පිවිසෙන ආධුනික ඔබ පුහුණු විය යුතු මූලික හැඩතල රාශියක් තිබෙනවා.ඉන් කිහිපයක් පිලිබඳ  පසුගිය කලාපයෙන් ඔබව දැනුවත් කළ අතර තවත් මූලික හැඩතල කිහිපයක් සකසා ගන්නා ආකාරය මෙම පාඩමෙන් ඉගෙන ගනිමු.


ලීෆ් ෂේප්
(Leaf Shape)




                මෙම හැඩය සඳහා පෙර ඉගෙනගත් අයි ෂේප් එක හා බොඩි ෂේප් එක මූලික වෙනවා.ලීෆ් ෂේප් එක සාදා ගැනීමට ඔබට කැමති පරිදි අයි ෂේප් එක සහ බොඩි ෂේප් එක සාදා ගන්න.

                සාදා ගත් මෙම හැඩය මැදින් අල්ලාගෙන එක් පැත්තක් වමටත් අනෙක් පැත්ත දකුණටත් නමා ගන්න.හොටක් මෙන් පෙනෙන ආකාරයට හොඳින් තදකර දෙපැත්තට නමාගත යුතුය.




ඩයමන්ඩ් ෂේප්
(Diamond Shape)

                මෙම හැඩය සාදා ගැනීම සඳහා අයි ෂේප් එක මුලික වේ.සාදා ගත් අයි ෂේප් එක සිරස් අතට අල්ලා ගන්න.දැන් මෙහි උඩ සිට පහළට ඇඟිලි තුඩුවලින් නමා ගන්න.එවිට බෝලයක් ආකාරයට දිස් වේවි.තව දුරටත් ඇඟිලි තුඩුවලින් අන්තිම රවුම තෙක් නමා ගන්න.(අයි ෂේප් එක සාදාගත් ආකාරයට)දැන් තිරස් අතටත් මේ ආකාරයටම සිදු කරන්න.මුලු එකට ගෑවෙන තුරුම නමාගත යුතුය.දැන් කිරිබත් කැබැල්ලක හැඩය එනතුරු එය අතින් සකසා ගන්න.

 


කොටු හැඩය
(Square Shape)




                මේ සඳහාත් අයි ෂේප් එක හා බොඩි ෂේප් එක මූලික වේ.මේ හැඩය සඳහාත් ඩයමන්ඩ් ෂේප් එක සාදාගත් ආකාරයට සිරස් අතට අල්ලාගෙන ඉහළ මුල්ලේ සිට පහළ මුල්ල තෙක් මහපට ඇඟිල්ලෙන් හා මැද ඇඟිල්ලෙන් අල්ලාගෙන සෙමින් පහළට නමා ගන්න.දැන් ඇඟිලි තුඩුවලින් මැදින් අල්ලා දෙපැත්තට ඇද ගනිමින් තද කරගන්න.(තිරස් අතට)

               මෙහිදී ඩයමන්ඩ් හැඩය හා කොටු හැඩය 100%ක්ම එකම ආකාරයට නමා ගැනීම සිදු කරයි.නමුත්, දිග හරින ක්‍රමය වෙනස් වේ.කොටු හැඩය දිග හැර ගැනීමේදී එහි විරුද්ධ කොන් 02කින් අල්ලා තරමක් ඇතුලට ඇඟිලි තුඩුවලින් සකසා ගන්න.ඉතිරි විරුද්ධ කොන් 02ටත් එසේම සිදු කරන්න.




රිජුකෝනාශ්‍ර හැඩය
(Rectangle Shape)


                මේ සඳහා අයි ෂේප් එක මූලික වේ.රිජුකෝනාස්රයේ උඩ අවශ්‍ය පැත්තට තබාගෙන ටිකක් පහළට නමා ගන්න.දැන් එම මුල්ලේ සිට අනෙක් පැත්තට ඇඟිලි තුඩුවලින් තිරස් අතට අයි ෂේප් එක මෙන් සකසා ගන්න.කොටු හැඩයේ පරිදිම මෙහිද විරුද්ධ මුළු 02න් අල්ලා සෙමින් දිග හැර ගන්න.




ඩාට් හැඩය
(Dart Shape)

                මෙයටත් පර්ල් හැඩය මුලික වේ.සකසාගත් පර්ල් හැඩය ගෙන,හදවතේ හැඩය සකසා ගන්නා ආකාරයට සකසා අතින් හොඳින් තද කරන්න.





ත්‍රිකෝණ හැඩය
(Triangle Shape)





                පේපර් කුයිලින්ග් නිර්මාණය කිරීමේදී ත්‍රිකෝණ හැඩ වර්ග 02ක් දැකිය හැකිය.එකක් සමපාද ත්‍රිකෝණයක් වන අතර අනෙක ද්වී පාද (පාද 02ක් පමණක් සමාන) ත්‍රිකෝණයකි.



මුලින්ම අප සමපාද ත්‍රිකෝණය සාදාගන්නා ආකාරය ඉගෙන ගනිමු.


                මේ සඳහා ඕෆ් සෙන්ටර් හැඩය මුලික වේ.සකසාගත් ඕෆ් සෙන්ටර් හැඩය ගෙන,ඉන් පර්ල් හැඩය සකසා ගන්න.දැන් උල සැකසුණු පැත්තේ පටන් මහපට ඇඟිල්ලෙන් සහ දබර ඇඟිල්ලේ ඇඟිලි තුඩු මතින් අල්ලා පහළට රැගෙන එන්න.ඇස් මට්ටමෙන් බලනවිට පාද 03ම සමාන වන තැනදී,අනෙක් අතින් දෙපස මුළු 02 තදකර ගන්න.


දැන් ද්විපාද ත්‍රිකෝණය සාදාගන්නා ආකාරය බලමු.


                මේ සඳහාත් ඕෆ් සෙන්ටර් හැඩය සහ පර්ල් හැඩය මුලික වේ.සකසාගත් ඕෆ් සෙන්ටර් හැඩය හෝ පර්ල් හැඩය ගෙන ඉන් පර්ල් හැඩය සකසා ගන්න.දැන් උල සැකසුණු පැත්තෙන් පටන්ගෙන මහපට ඇඟිල්ලෙන් සහ දබර ඇඟිල්ලේ ඇඟිලි තුඩු මතින් අල්ලා තරමක් පහළට රැගෙන එන්න.දැන් පාද 02ක් පමනක් සමාන වනවිට නවතා දෙපස මුළු 02 අනෙක් අතින් සකසා ගන්න.




තරු හැඩය - 01
(Star Shape 01)


                මෙහිදීද අයි හැඩය මූලික වේ.සකසාගත් අයි හැඩයේ එක් කොනකින් තරමක් පහළින් අල්ලාගෙන,ඇඟිලි තුඩු 02කින් ඊට දෙපැත්තෙන් තද කර ගන්න.ඉහළට එසවී ඇති කොන් තදකර සකසා ගන්න.



තරු හැඩය - 02
(Star Shape 02)


දැන් සාමාන්‍ය තරු හැඩය සකසා ගන්න ආකාරය ඉගෙන ගනිමු.

                මෙයටත් පර්ල් හැඩය මූලික වේ.පර්ල් හැඩයේ යට ඇති රවුම් කොටස හරි මැද්දෙන් ට්වින්සරය තබා තරමක් තද කරන්න.ට්වින්සරය ඉවත් කර ඇඟිලි තුඩුවලින් අල්ලා තද කරන්න.දැන් දෙපසින් ද  මුලු 02ක් ආකාරයට අල්ලා ඇඟිලි තුඩු මතින් තද කර ගන්න.




හදවතක හැඩය
(Heart Shape)





                මෙම හැඩය සකසා ගැනීම සඳහා පර්ල් හැඩය මුලික වේ.සකසාගත් පර්ල් හැඩය ගෙන, ට්වින්සරය භාවිතයෙන්,යට ඇති රවුම් කොටස් හරි මැද්දේ සිට මැදට තද කරන්න.දැන් ට්වින්සර් එක ඉවත් කර එය ඇඟිලි තුඩුවලින් අල්ලා හොඳින් තද කර ගන්න.පසුව දිග හැර අතින් හදවතේ හැඩය සකසා ගන්න.

Tuesday, January 30, 2018

පේපර් කුයිලින්ග් කලාව - 01 පාඩම




මූලික හැඩතල සැකසීම


                සුන්දර නිර්මාණ කළ හැකි පේපර් කුයිලින් කලාව හැදෑරීමේ දී ඒ සඳහා මුලිකවම අවශ්‍යවන කොයිල් වර්ග ගණනාවක් ඇත. ඒවා අපිට විවිධ හැඩයන් ඔස්සේ දැක ගන්න හැකිය.

                ඔබ මෙම කලාවට ආධුනික නම් නියත වශයෙන්ම එම කොයිල් වර්ග හඳුනා ගැනීමත් එම හැඩයන් සකසන අයුරු පුහුණුවීමක් සිදුකළ යුතුයි.

අපි එවැනි මුලික හැඩ කිහිපයක් සකසා ගන්නා ආකාරය අද ඉගෙනගනිමු.

                මෙම කොයිල් සාදා ගැනීමට ප්‍රථම වර්ණ කඩදාසි, තීරු බවට පත්කර ගත යුතුයි. පළමුව දෑත් හොඳින් සෝදා වියළා ගන්න. නැතිනම් කඩදාසි මත කිළුටු ගෑවේ.



තීරු කපා ගන්නා  ආකාරය



  • මුලින්ම වර්ණ කඩදාසියක් ගෙන එය හරිමැදින් දෙකට නමා ගන්න ගන්න. 
  • දැන් කටින් මැට් එක ගෙන තමා ගත් වර්ණ කාදාසිය ඒ මත තබා අඩිරූල හා Craft Knife ආධාරයෙන් කොළයේ අඟල බෙදා ඇති කොටස් 10 න් එක් කොටසක ප්‍රමාණයක් වන පරිදි cutting mark දමා ගන්න. 
  • දැන් craft Knife එකෙන්ම අඩි රූල කටින් මාර්ක් මත තබමින් ඉතා සීරුවෙන් තීරු කපා ගන්න.
  • මෙසේ කපා ගන්නා වර්ණ තීරු පටි විවිධ ප්‍රමාණයන් ගෙන් නිර්මාණයේ ප්‍රමාණය අනුව අවශ්‍ය වෙනවා. 

                         එනම් A4 කඩදාසිය හයට නමා ගත් පසු එන 1/6 කොටස, තුනට නමාගත් පසු 1/3 කොටස මේ ආකාරයට 1/2, 2/3, 1, 1/2, 2, 2, 1/2 ආදී ලෙසයි.

දැන් අපි මෙම වර්ණ තීරුවලින් සාදා ගත හැකි මූලික කොයිල් මොනවාදැයි හඳුනා ගනිමු.

මෙම කොයිල් සාදා ගැනීම සඳහා මූලික වශයෙන් අපට උපකරණ 03ක් අවශ්‍ය වෙනවා.

  • Slotted tool
  • Cutting board
  • Quilling mold 

                                  එම උපකරණ ත්‍රිත්වය යි.


කොයිල් සාදා ගැනීම



Tight coil - ටයිට් කොයිල්



  • මුලින්ම ස්ලෝටඩ් ටූල් එක ගෙන තමන්ට හුරු අතින් එහි මිටෙන් අල්ලා ගන්න. 

  • දැන් ඉහත කපාගත් වර්ණ කඩදාසි තීරුවක් ගෙන ටූල්  එකේ පැලී ඇති කොටසට ඇතුළු අර ගන්න. (ඉවතට පනින්න තියන්න එපා.) 

  • දැන් මහපට ඇඟිල්ල හා දබර ඇඟිල්ලේ තුඩුවලින් කඩදාසි තීරුවේ උඩින් හා යටින් අල්ලාගෙන ඉතාමත් තදින් (කොයිල් එක බුරුල් වෙන්න දෙන්න එපා.) මිට කරකවමින් හිමින් වට දෙක තුනක් ඔතා ගන්න. 

  • දැන් හැකි තරම් වේගයෙන් කරකවමින් ඔතා ගන්න. 

  • අවසානයේ කඩදාසි තීරුව දිග හැරෙන්නට නොදී ගම් ස්වල්පයක් කඩදාසියේ අවසන් කොටසේ අලේප කර අලවා ගන්න. 

  • සාදාගත් කොයිල් එක tool එකෙන් ඉතා සීරුවෙන් ඉවත්කර ගන්න.


Loose coil - ලූස් කොයිල්






  • ඉහත ටයිට් කොයිල් එක ඔතාගත් ආකාරයටම ස්ලෝටඩ් ටූල් (Slotted tool) එකට කඩදාසි තීරුව ඇතුළු කර ඔතා ගන්න. 

  • ඔතා අවසානයේ කුයිලින් මෝල්ඩ් එකේ, තමන්ට අවශ්‍ය ප්‍රමාණයට ඇති රවුම මතට ඔතා ගත් කොයිල් එක tool එකෙන් සීරුවේන් ඉවත් කර දමා ගන්න. 

-     මෝල්ඩ් එකේ ඇති රවුමේ ප්‍රමාණයටම කොයිල් එක දිග හැරෙනු ඔබට දැකගත   හැකි යි.

-     ලූස් කොයිල් එකේ ගම් ඇලවීමක් දකින්න ලැබෙන්නේ නැ .



Close coil - ක්ලෝෂ් කොයිල්





  • ඉහත ලූස් කොයිල් එකක් සදා ගත් ආකාරයටම ක්ලෝස් කොයිල් එකත් සදා ගත යුතු ය.  

  • ක්ලෝස් කොයිල් එකේ වෙනස වනුයේ කඩාදාසි තීරුව මෝල්ඩ් එකේ දිග හැරුණු විට කඩදාසි තීරුවේ අවසාන කෙළවරේ ගම් ස්වල්පයක් අලේප කර අලවා ගැනීමයි. 




off center coil - ඔෆ් සෙන්ටර් කොයිල්






-            මෙම කොයිල් එක ඉදරියට ඉගෙන ගැනීමට  ඇති කොයිල් බොහොමයක පදනම වේ.



  • මෙම කොයිල් එක සාදා ගැනීමට ක්ලෝස් කොයිල් එක සදා ගත් ආකාරයටම කොයිල් එක සාදා අතට ගන්න. 

  • දැන් ඔබට නුහුරු අතින් මහපට ඇඟිල්ල හා මැද ඇඟිල්ල භාවිතා කරමින් ඉතාමත් පරිස්සමින් අල්ලා ගන්න. 

  • දැන් අනෙක් අතේ, මහපට ඇඟිල්ල හා මැද ඇඟිල්ල භාවිතා කරමින් කොයිල් එකේ මැද ඇති රවුම් ටික කොයිල් එක ඔතාගත් පැත්තටම සෙමින් කරකවමින්, පහළට (ගම් යොදා අලවා ගත් තැනට) රැගෙන එන්න. 

                                                                   මෙය ඔෆ් සෙන්ටර් කොයිල් එක වේ.




Eye shape - අයි ෂේප්



  • අයි ෂේප් එක සදා ගැනීම සඳහා මුලින්ම ලූස් කොයිල් එක සදා ගත යුතුය. 

  • දැන් ලූස් කොයිල් එකේ මැද ඇති රවුම් ටික ඔබට හුරු අතේ ඇඟිලි තුඩු ආධාර කර ගෙන කර කවමින් හරි මැදට ගෙන එන්න.

  • කොයිල් එක උඩින් සහ යටින් මහපට ඇඟිල්ලෙන් හා දබර ඇඟිලි තුඩුවලින් තද කරන්න. එක් කොනක් හොඳින් තද කර ගන්න. 

  • අනෙක් පැත්තද ඊට සමාන්තරව සකසා ගන්න. 

  • මෙහිදී මැද ඇති රවුමට හානියක් නොකිරීමට වගබලා ගත යුතුයි.



Pearl shape - පර්ල් ෂේප්





  • පර්ල් ෂේප්  එක සාදා ගැනීම සඳහා ඕෆ් සෙන්ටර් කොයිල් එක සාදාගත් ආකාරයටම කොයිල් එක සාදා ගත යුතුයි. 

  • දැන් කොයිල් එකේ යට කොටස නුහුරු අතින් අල්ලා ගෙන හුරු අතේ මහපට ඇඟිල්ල හා දබර ඇඟිල්ල භාවිතා කරමින් කොයිල් එකේ දෙපසින් අල්ලා උඩට ඇද ගන්න. 

  • දැන් රවුමට තිබූ කොයිල් එක දිග් අතට සැදී ඇති බව පෙනෙන්නට ලැබේවි. 

  • උඩ කොටස උල් ආකාරයටත් යට කොටස රවුම් ආකාරයටත් තිබිය යුතුයි.      



Body shape - බොඩි ෂේප් 


-         මෙම ෂේප් එක සදා ගැනීමට අයි ෂේප් එක මූලික වේ.



  • අයි ෂේප් එක සාදා සිරස් අතට අල්වා ගෙන මැද රවුම් ද ඇඟිලි තුඩු මගින් හොඳින් තෙරපවා ගත යුතුයි. 

  • උඩ සහ යට කොටස් දෙකම සමාන විය යුතුය.




Tear drop shape - ටියර් ඩ්‍රොප් ෂේප් 






-        මෙම කොයිල් එක සාදා ගැනීමට පර්ල් ෂේප් කොයිල් එක මුලින් සාදා ගත යුතුයි.



  • පර්ල් ෂේප් කොයිල් එක සාදා ඔබට නුහුරු අතේ ඇඟිලි තුඩුවලින් උඩු අතට අල්ලා ගන්න. 

  • දැන් හුරු මහපට ඇඟිල්ල සහ දබර ඇඟිල්ල ආධාරයෙන් කුරුළු හොටක් ආකාරයට නමා ගන්න. 






 

Friday, January 26, 2018

කතිර මැහුම් කලාව - 03 පාඩම




සාමාන්‍ය රෙද්දක කතිර මැස්ම මැසීම



                සාමාන්‍ය රෙද්දක කතිර මැස්ම මැසීම අපහසු'යැයි ඔබ සිතනවා ඇති.නමුත් මෙම පාඩම බැලූ පසු එය කෙතරම් පහසුද යන වග ඔබට වැටහෙන බව නොඅනුමානය.


                සාමාන්‍යයෙන් කතිර මැස්මට ගන්නා අනෙකුත් අමුද්‍රව්‍ය වලට අමතරව මෙහිදී විශේෂ අමුද්‍රව්‍යයක් භාවිතා කරයි.එය waste canvas රෙද්දකි.



 waste canvas රෙදි කැබැල්ලක් 


waste canvas රෙද්ද භාවිතා කරමින් කතිර මැස්ම මසා ගන්නා ආකාරය පහතින් දැක්වේ.



01 පියවර


                අවශ්‍ය කරන ප්‍රමාණයට වේස්ට් කැන්වස් රෙදි කැබැල්ල කපාගන්න.ඔබ මැසීමට සුදානම් වන pattern එකට වඩා මදක් ලොකුවට මෙම රෙදි කැබැල්ල කපාගන්න.





02 පියවර


                තමාට කතිර මැස්ම මසා ගත යුතු රෙද්දට උඩින් waste canvas රෙදි කැබැල්ල තබාගෙන රෙදි කැබලි දෙක එහා මෙහා නොයන්න ලොකු නූල් හෝ පොඩි නූල් පාරක් ඇදගන්න.





03 පියවර


 ෆ්‍රේම් එකට දාගන්න.





04 පියවර


                 දැන් ඔබගේ නිර්මාණය මසා ගැනීමට ඔබගේ රෙදි කැබැල්ල සුදානම්.ඔයාලට පේනවා නේද?waste canvas රෙද්දෙහි ලොකු කොටු සහ පොඩි කොටු තියෙනවා.ඔයාලා හැම වෙලාවෙම පොඩි කොටු අතරින් තමයි කතිරය මසාගන්න ඉඳිකට්ට එලියට ඇතුලට දා ගන්න ඕනෙ.




මේ තියෙන්නේ මගේ මැස්ම මසාගත් ආකාරයයි.







මේ පහලින් තියෙන්නේ මහලා ඉවර උනු නිර්මාණයයි.






05 පියවර


දැන් අපි බලමු උඩ waste canvas රෙදි කැබැල්ල අයින් කරගන්නා ආකාරය.


  • නිර්මාණය frame එකෙන් එලියට ගෙන waste canvas රෙද්දෙහි  නූල් එකින් එක හිමිට අදින්න.





  • නූල් සියල්ල ඇද ඉවර කරගත්තට පස්සේ අවසන් නිර්මාණය තමයි මේ පහළින් තියෙන්නේ.










එහෙනම් තවත් පාඩමකින් නැවත හමු වෙමු.








Thursday, January 18, 2018

කතිර මැහුම් කලාව - 02 පාඩම



             
                කතිර මැස්ම 02 පාඩමෙන් අද අපි back stitch එක කරගන්නා ආකාරය සහ pattern chart එක කියවගන්නා ආකාරය බලමු.


 back stitch එක කරගන්නා ආකාරය 




01 පියවර




                මේ තියෙන්නේ බැක් ස්ටිච් එක කරගන්නා ආකාරයයි.මේ ක්‍රමය බොහෝ දුරට outline එක මහන්න භාවිතා කරයි.සමහර පැට්න් වල outline නැහැ.හැබැයි සමහර pattern වල outline මහන්න තියෙනවා.


                සැම විටම කතිරේ මහන්න ගන්න නූල් පොටවල් ප්‍රමාණයට වඩා අඩු ප්‍රමාණයක් සහ ගැලපෙන නූල් පොටවල් ගණනක් back stitch එක සඳහා භාවිතා කරන්න.නැත්නම් outline එක  pattern එකට වඩා highlight වෙයි.


back stitch ඉදිරිපස පෙනුම





back stitch පසුපස පෙනුම



පිටුපස පෙනුම පිස්මේන්තු මැස්ම වගෙයි.



02 පියවර



නූල් අතරින් නූල් දිවවිම කර අවසන් කරගන්න.





 pattern chart එක කියවගන්නා ආකාරය 






                මේ තියෙන්නේ pattern chart එකක එන පාට සටහන්.මේකෙ විවිධ count වර්ගවල රෙදි තියෙයි.පාවිච්චි කරද්දී අපි කරන නිර්මාණයේ size වෙනස් වෙන විදිහ, ඒ වගේම පාට යෙදිය යුත්තේ මොන මොන තැන් වලටද?, ඒ වගේම නූල් පොටවල් කියක් ගත යුතුද? යන විස්තර සියල්ලම තියෙයි.

ගත යුතු නූල් වල පාට අංකය පවා තියෙනවා.

                නමුත්,සමහර අවස්ථාවලදී අපිට ඒ නොම්බරයම තියෙන පාට හොයාගන්න බැරි වෙන අවස්ථා තියෙනවා.ඒ වෙලාවට chart එකේ තියෙන පාටට සමාන පාටක් තියෙන කැරලි නූල හොයාගෙන කොලයක සටහන් කරගන්න.chart එකේ අදාළ සංකේතයට අපි අලුතින් ගත්තු නූල් අංකය මොකක්ද කියලා.එතකොට පැටලෙන්නේ නැහැ.

                chart එකේ දීල තියෙන පාටම දාන්න කියලා නියමයක් නැහැ.නමුත්, පාට වැඩි chart එකක් නම් පුළුවන් තරම් ඒ පාටම තෝරාගන්න බලන්න.නැත්නම්,සමහරවිට sheed වෙන තැන් වලදී පාට ගැලපුනේ නැත්නම් නිර්මාණය කැත වෙන්න පුළුවන්.ඒ වගේම ගත යුතු නූල් පොටවල් ගණනද රෙද්ද අනුව වෙනස් කරගන්න පුළුවන්.





ඉහත දක්වා ඇත්තේ පාට සහ සංකේත සමඟ තියෙන chart එකක කොටසකි.



කතිර මැහුම් කලාව 03 වන පාඩමෙන් නැවත හමුවෙමු.....


Sunday, January 14, 2018

කතිර මැහුම් කලාව - 01 පාඩම


              


       



         මීට පෙර අවස්ථාවකදී "ස්වාභිමානී" හරහා කතිර මැහුම් කලාව පිලිබඳ කෙටි හැඳින්වීමක් සහ අවශ්‍ය අමුද්‍රව්‍ය සහ උපකරණ පිලිබඳ හැඳින්වීමක් ගෙන හැර දක්වන ලදී.දැන් ඇත්තේ කතිර මැහුම් කලාවට ප්‍රවේශ වීමටයි.ඒ සඳහා ඔබට ආරාධනා...






    01 පියවර


         

                සාමාන්‍යයෙන්,මහද්දී නුලට ගැටයක් දැමිය යුතුයි.නමුත්,මෙතනදී මම ගැටයක් පාවිච්චි කරන්නේ නැහැ. රෙද්දේ පිටුපසින් මෙහෙම නූල ඇදලා තමා පටන් ගන්න ඕනේ. එවිට අදින නූල පිටිපස්සට පේන්නෙ නැහැ.





                පෙර ක්‍රමයට කැමති නැතිනම් ගැටයක් දාල මහන්න පුලුවන්. නමුත් ලොකු ගැටයක් දාන්න එපා. හේතුව තමයි,එවිට නිර්මාණය නිමා කළ පසු තැන් තැන් වලින් ඉස්සිලා තියෙන්න පුලුවන්. එතකොට කතිර මැහුම් නිර්මාණයක් කරද්දී ෆ්රේම් කරනවිට  කැතට පෙනෙන්න ඉඩ තියෙනවා.



02 පියවර



කතිර මැහුම කර ගන්න ක්‍රම දෙකක් තියෙනවා.


01 ක්‍රමය

                මේ ක්‍රමයේදී කතිරෙන් කතිරෙ සම්පුර්ණ කරගනිමින් මසනවා.මම දිග විස්තරයක් කරන්න යන්නෙ නැහැ  මම හිතනවා පින්තුරයේ නොම්මර දාලා තියෙන විදිහෙන්  හැමෝටම තේරුම් ගන්න පුළුවන් වෙයි කියලා.


01 ක්‍රමයේදී ඉදිරිපස හා පිටුපස පෙනුම




මේ තමා දෙවන ක්‍රමය.......

02 ක්‍රමය

                මේකෙදි අපි කරන්නේ එක පැත්තකට , එක දිගට කතිර භාගය මහලා ආයෙත් ආපස්සට මහලා  කතිරය සම්පුර්ණ කරනවා.


02 ක්‍රමයේදී ඉදිරිපස හා පිටුපස පෙනුම






03 පියවර




                මේ තියෙන්නේ මම මැහුම ඉවර කරගන්න විදිහ. කණපිට පැත්තෙන් අනිත් අතට නූල් අතරින් දිවවීමක් කරලා ඉවර කර ගත යුතුයි.



දැන් අපි පොඩි දෙයක් මහලා බලමු නේද.......



                මුලින්ම අපි රෙදි කොටසේ මැසිය යුතු නිර්මාණයට අදාළ කොටු සටහන් කරගමු. එක පාටකින් කරන නිසා මුලු නිර්මාණයම එකපාර සටහන් කරගත හැකියි.

01

02

03



දැන් මහන්න පටන්ගමු....... 



                මම ගැට දාන්න අකමැති නිසා මම කැරලි නූල රෙද්දේ නූල් අතරින් දුවවලා  පටන් ගන්නවා. මම අරන් තියෙන්නේ කැරලි නූලේ පොටවල් 03කි. ඔයාලට කැමති නූල් පටවල් ගණනක් ගන්න පුළුවන් . නමුත්, මේ සයිස් කොටු රෙද්දේ නූල් පොටවල් තුනකින් මැසුවහොත් පිරුණු ගතියක් ගන්න පුළුවන්.

01


02


03


04


05 


06


07


08


                හැම වෙලාවෙම මතක තියාගන්න නිර්මාණයේ යටින් එන නූලත්  උඩින් එන නුලත් මුළු නිර්මාණයෙදීම එක පැත්තකට මහන්න. එතකොට නිර්මාණයට දීප්තියක් එනවා.


නිර්මාණය අවසානයේ ඉදිරිපස පෙනුම..........







නිර්මාණය අවසානයේ පිටුපස පෙනුම........






අදට පාඩම මෙපමණයි..කතිර මැස්ම 02 පාඩමෙන් ළඟදීම මුනගැසෙමු....