ස්ටම්ප් වර්ක් කලාව








                සොබාදහමේ අප දකින බොහෝ දෑ ත්‍රිමාණ අයුරින් නිමකරගත හැකි සුන්දර මැහුම් කලාවක් ලෙස ස්ටම්ප් වර්ක් හඳුනා ගන්නට පුළුවන. ගහ, කොළ, මල්, සතුන් වැනි දේ මෙම මැහුම් කලාව තුලින් ඉතා අපුර්ව ලෙස අපට නිමකරගත හැක.

                සරල මැහුම් ක්‍රම කීපයක් පමණක් භාවිතා වුවත්, ඉතා උසස් නිමාවක් අවසානයේදී දිස්වන අයුරින් මෙම මැහුම් ක්‍රම යොදා ගැනීම ස්ටම්ප්වර්ක් නිර්මාණවල ඇති විශේෂත්වයයි.

                ස්ටම්ප් වර්ක් නිර්මාණවල දි, අත්‍යවශ්‍යම ප්‍රධාන මැහුම් ක්‍රම මෙන්ම අමතරව මෝස්‌තර හැඩකර ගැනීමට අවශ්‍ය වන වෙනත් මැහුම් ක්‍රම කිහිපයක් දවේ . ස්ටම්ප් වර්ක් කලාව හැදෑරීමට ප්‍රථම ඔබ ඒවා පිළිබඳ ඉගෙනීම අත්‍යවශ්‍ය වේ.





සාමාන්‍ය බොත්තම් කාස මැස්ම





                මෙහිදී සාමාන්‍ය බොත්තම් කාස මැස්ම යනු, කුමක්දැයි මුලින්ම පැහැදිලි කර ගනිමු. දිග කොට බොත්තම් කාස මැස්ම ද ඉන් වෙනස් වන අයුරු ඔබට ඒ හරහා පහසුවෙන් වටහාගත හැකිවේවි.

                රූප සටහනේ පෙනෙන පරිදි A වලින් උඩට ගත් ඉඳිකටුව C වලින් ඇතුලට ගසා B වලින් නැවතත් උඩට මතුකරගන්න .නැවතත් E වලින් ඇතුලට ගැසූ ඉඳිකටුව D වලින් නැවතත් උඩට මතුකර ගන්න. මේ අයුරින් දිගට මසාගත් විට එය සාමාන්‍ය බොත්තම් කාස මැස්ම වේ.



දිගකොට බොත්තම් කාස මැස්ම( Long and short button hole stitch)





                සාමාන්‍ය බොත්තම් කාස මැස්ම දිග කොට බොත්තම් කාස මැස්මෙන් වෙනස් වනුයේ එක් කාරණාවක් මත පමණි. බොත්තම් කාස මැස්මේ මැහුම් එක සමාන උසකින් දිස්වුවත් දිගකොට බොත්තම් කාස මැහුමේ ද මැහුම්වල උස එකිනෙකට වෙනස් වේ. එක මැහුමක් දිගට මැසූවිට අනෙක් මැහුම මැහෙනුයේ තරමක් කොටටය. එය ඉහත රූප සටහනින් වඩාත් ඔබට පැහැදිලි වේවි.




දිග කොට මැස්ම (Long and short stitch)





                මෙහිදී A වලින් උඩට ගත් ඉඳිකටුව B වලින් ඇතුළට ගසන්න.නැවටත් C වලින් ඉඳිකටුව උඩට ගෙන පෙර මැසූ මැහුමට වඩා තරමක් කෙටිවන අයුරින් දෙවැනි මැහුම මසාගන්න.තුන්වැනි මැහුම නැවතත් දිගට සිටින අයුරින් මසන්න.

මෙම මැහුම් වර්ගය රූප සටහන ඇසුරින් ඔබට තවත් පැහැදිලි කරගත හැකිය.




කවුච් කිරීම(Cauching)





                රෙද්දක් මත ඇඳගත් යම් හැඩතලයක් වටා කම්බියක් හෝ නූලක් තබා එය කෙටි මැහුම් මගින් රෙද්දට සවිකර ගැනීම කවුච් කීරීම නම් වේ.

                එය මෙම රූප සටහනින් වඩාත් පැහැදිලිවේ, A වලින් උඩට ගත් ඉඳිකටුව B නම් වූ නූල හෝ කම්බිය වටා ගොස් C නම් වූ ස්ථානයෙන් ඇතුලට ගසනු ලැබේ. මේ ආකාරයට දිගටම මැහුම් යොදාගන යන්න.






බූලියන් මැස්ම ( Bullion Stitch)






                රූප සටහනේ දැක්වෙන පරිදි A ස්ථානයෙන් රෙද්දේ උඩටගත් ඉඳිකටුව B ස්ථානයෙන් ඇතුළට ගසා නැවතත් ඉඳිකටුවේ  විවර වූ කෙළවර C ස්ථානයෙන් උඩට  මතුකර ගන්න. දැන් එම ඉඳිකටුව වටා නූල්පට කිහිපයක් ඔතා ඉඳිකටුව උඩට මතුකර ගන්න. නැවතත් E ස්ථානයෙන් ඇතුළට ගසාගන්න.




ලේසි ඩේසි මැස්ම  (Lazy Daisy Stitch)




                රෙද්දේ එක තැනකින් උඩට මතුකර ගත් ඉඳිකටුව එම ස්ථානයෙන්ම ඇතුළට ගසා පෙත්තේ උඩින් නැවතත් උඩටගන්න. එය නූල්පොට ඇතුලතිත් උඩට ගතයුතු අතර පෙත්තේ පිටින් නැවතත් රෙද්ද තුලට ගැසිය යුතුය.



දම්වැල් මැස්ම (Cain Stitch)



                රෙද්දේ එකතැනකින් උඩටගත් ගත් ඉඳිකටුව නැවතත් එම ස්ථානයෙන්ම ඇතුලට ගසා, එම නූල් පොට තුළින්ම ඉඳිකටුව උඩට මතුකර ගන්න.නැවතත් එම ස්ථානයෙන්ම ඇතුළට ගසා, මඳක් දුරින් ඉඳිකටුව නැවතත් උඩට මතුකර ගන්න.



ප්‍රංශ ගැට මැස්ම (French Knot)





                රෙද්දේ එක් තැනකින් උඩට ගත් ඉඳිකටුව වටා නූල්පොට වට කිහිපයක් ඔතා උඩටගත් ස්ථානය ආසන්නයෙන්ම ඇතුළට ගසන්න.



පිස්ටිල් ස්ටිච් (Pistil Stitch)





                රෙද්දෙන් උඩට ගත් ඉඳිකටුව ප්‍රංශ ගැටයේ මෙන් වට කිහිපයක් ඉඳිකටුව වටා ඔතන්න.අනතුරුව තමන්ට අවශ්‍ය පෙත්තේ හෝ රේණුවේ දිග තබා රෙද්දේ ඇතුලට ගසන්න.



නැටි මැස්ම (Steam Stitch)





               A ස්ථානයෙන්  උඩට ගත් ඉඳිකටුව B ස්ථානයෙන් ඇතුළට ගසා AB  දුර අතරින් 1/2 ක් පමණ දුරකින් මැදින් උඩට ගසන්න.නැවතත් C ස්ථානයෙන් ඇතුලට ගසා B ස්ථානයෙන් උඩට මතුකර ගන්න.




කෙළින් මැස්ම (Straight Stitch)





                A ස්ථානයෙන් උඩට ගත් ඉඳිකටුව B ස්ථානයෙන් ඇතුළට ගසන්න.නැවතත් උඩට මතුකර D ස්ථානයෙන් ඇතුලට ගසන්න.මෙලෙස දිග හරි කෙලින් ඇති රේඛාවක් ලෙස මැසිම කෙලින් මැස්ම නම් වේ.














රෙදි තෝරා ගැනීම


                වෙනත් එම්බ්‍රොයිඩර් ක්‍රමවලදී රෙදි තෝරා ගැනීමේදී ඔබ දක්වන සැලකිල්ලට වඩා වැඩි සැලකිල්ලක් ස්ටම්ප් වර්ක් නිර්මාණ සඳහා රෙදි තෝරා ගැනීමේදී දැක්විය යුතුය.මෙහිදී ඉතා ලඟින් මැහෙන මැහුම්වලින් නිර්මාණය පුරවන නිසා තුනී රෙදි තෝරා නොගත යුතුය.මේ සඳහා තුනී නොමැති ලිනන් රෙදි වර්ග, සැටින් හෝ ඕගන්දී වැනි රෙදි වඩා සුදුසු වේ.ඇතැම් අවස්ථාවලදී ෆැනල් රෙදි පවා භාවිතයට ගනී.තුනී රෙදි තෝරා ගත්විට, ළඟින් ළඟින් මැහුම් මැසෙන නිසා, රෙද්ද සිදුරු වි කැඩී යාමකට ලක් විය හැකිය.එවිට ඔබ බලාපොරොත්තු වුනු ආකාරයට හොඳ නිමාවකින් යුතු නිර්මාණයක් ඔබට නොලැබෙනු ඇත.කෙසේ වුවත් ගැලපෙන හොඳම රෙදි වර්ගය තෝරාගෙන නිර්මාණය සඳහා යොදා ගැනීමට සැලකිලිමත් වන්න.



නූල්




           නූල් තෝරා ගැනීමේදී ද  විවිධ වර්ගවල නූල් ඔබට භාවිතා කළ හැකිය.

උදාහරණ ලෙස:     DMC නූල්, 2 PLY නූල්, සිල්ක් නූල්, කැරලි නූල් (කැරලි නූල් නම් එක් පොටක් හෝ දෙපොටක් ප්‍රමාණවත් වේ.)



ඉඳිකටු



                ඉඳිකටු සඳහාද crewel needle (ක්‍රිවල් ඉඳිකටු) ලෙස හඳුන්වන තුඩ සහිත ඉඳිකටු නොම්මර 03 හා 09 දක්වා ඉඳිකටු භාවිතා කළ හැකිය.ඔබ නිවසේ මැසීමට භාවිතා කරන විවිධ දිග ප්‍රමාණ සහ ඉදිකටුවේ සිහින් බව වෙනස් වන අයුරින් තෝරා ගන්න බොහෝ ඉඳිකටු මේ සඳහා භාවිතා කළ හැකිය.නමුත්,වූල් වර්ග යොදා ගනිමින් කරන නිර්මාණයකදී නම් තුඩ තියුණු නොමැති සිහින් ඉඳිකටු භාවිතා කිරීම වඩාත් සුදුසු වේ.වූල් භාවිතා කරනවිට කුඩාවට කපා ගත් වූල් භාවිතා කිරීමෙන් වූල්වල කෙඳි ඉස්මතු වීම අවම වේ.



කම්බි

                ගෙජ් 18, 20, 22 වැනි ප්‍රමාණවලින් යුත් සිහින් කම්බි මේ සඳහා යොදා ගත යුතුය.මෙම කම්බි සුදු හෝ වෙනත් වර්ණයකින් යුක්ත වී තිබේ නම් වඩාත් සුදුසු වේ.මෙම කම්බිවල ඝනකම, තෝරාගන්නා මෝස්තරය හෝ නිර්මාණය මත වෙනස් විය හැකිය.



කතුර






                මෙම නිර්මාණයන් සඳහා කතුරු වර්ග කිහිපයක් භාවිතා කළ යුතු වේ.කම්බි කැපීම සඳහා ඝනකම් කතුරක්, තුඩ ඉතාම සිහින් කතුරක්, එසේම තියුණු ලෙස කැපෙන කතුරක් ද  තිබීම ප්‍රයෝජනවත් වේ.


කාබන් කොළ

                මෝස්තරය පිටපත් කර ගැනීම සඳහා කාබන් කොලද අවශ්‍ය වේ.ඒ සඳහා ඩ්‍රෙස් මෙකිං කාබන් කොළ තෝරා ගන්න.



පැන්සලක්

                නිර්මාණ පිටපත් කර ගැනීම සඳහා හොඳම වර්ගයකින් සිහින් තුඩ සහිත පැන්සලක් අවශ්‍ය වේ.



රාමුවක්



                නිර්මාණය ක්‍රමවත්ව හා පහසුවෙන් මසා ගැනීම සඳහා ලී හෝ ප්ලාස්ටික් රාමුවක් අවශ්‍ය වේ.
     






6 comments:

plz,give me your ideas..